29 June, 2017
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් සිදුකල යුතුව තිබූ කටයුතු බොහෝමයක් නිමවී තිබුණද දේශපාලනික වශයෙන් එම මැතිවරණය කල්දැමීමට හේතුසාධක විවිධ පාර්ශවයන් මතුකරමින් තිබෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ පසුගියදා සභික ධූර ප්‍රමාණය අඩුකොට හැකි ඉක්මණින් මැතිවරණය පවත්වන බවට සභානායකවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය පරස්පරසහගත එකක් බවයි.
පළාත් පාලනයට අදාල පනත සම්මතවී වසර ගණනාවක් ගතවීමෙන් පසුව මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවී ඇති වටපිටාවක මෙවැනි ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බවයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වාදෙන්නේ.
ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ සියලුම ව්‍යවස්ථාදායකය නියෝජනය කරන දේශපාලන පක්ෂවල වගකීම හා යුතුකම වන්නේ මැතිවරණය ප්‍රමාදවන ආකාරයේ අදහස් දැක්වීම් වලින් මෙන්ම ක්‍රියාවලින් බැහැරවී මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන වටපිටාව සැකසීමට කටයුතු කිරීම බවයි.
තවද ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් පිළිබදව තොරතුරු විමසා තොරතුරු දැනගැනීමේ පත්‍රිකාවක් පැෆ්රල් සංවිධානය විසින් ආගමන විගමන පාලකවරයා වෙත යොමුකර ඇති බවත් ඔහු විසින් ඒ පිළිබදව කඩිනමින් දැනුම්දීමට කටයුතු කරන බවට මේ වන විටත් දන්වා ඇති බවද හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුව සදහා පැෆ්රල් උපසභාපති කේ.එන් ඩීන්, වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා ව්‍යාපෘති නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු යන යන එක්ව සිටියහ.